Monday, April 2, 2018

"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"

මම ලියමි .වසර ගණනක් තිස්සේ ලියමින් සිටිමි . එහෙත් මගේ ලිවීමේ සීමා මායිම් ඇත .
අපේ ජීවිතයට අසීමිත ව සම්බන්ධ අසීමිතව ජීවිතය හා බැඳුණු බොහෝ දෑ පිළිබඳව ලිවීම අපහසු ය. ඒ බොහෝ අවස්ථා කෙලින්ම ලිවීමෙන් වැළකී වක්‍රාකාරයෙන් සටහන් තැබීමට මම පුරුදු වී සිටිමි.
ඇතැම් විට එය කවිය කි .තවත් විටෙක එය කෙටි කතාවකි .
ඒත් කවියකින් වත් ලිවීමට නොහැකි තරම් කටුක අත්දැකීම් ද මෙම අවුරුදු තිස් ගණනට මම අත්විඳ ඇත්තෙමි. නමුත් මේ ජීවිතය දුකක් යැයි මම නොකියමි. එය දුක සතුට සම්මිශ්‍රණයකි.

මගේ ජීවිතයේ දුක්බර ම මොහොත කිසිවකු හෝ ඇසුවොත් සිහිපත් වන සිදුවීම් කිහිපයකි. ඇතැම් සිදුවීම් සිදු නොවුණා නම් කොතරම් හොඳ දැයි සිතෙන වාර අනන්ත ය.
එහෙත් දෛවය හා ජීවිතය නිරන්තරයෙන් ම අපට හිතවත් නොවේ.
ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථාවන් අතරින්, සියලු දේ නොව සමහරක් දේ ලියා තැබිය යුතුයැයි සිතේ.
මගේ ජීවිතයේ මට වඩාත් ම ආදරය කළ හා කරන පුද්ගලයා අප්පච්චිය. එය මම හොඳාකාරව දනිමි. බොහෝ පියවරුන් දරුවන් කෙරෙහි වන ආදරය සිතේ සඟවාගෙන සිටින බව මම අසා ඇත්තෙමි. එහෙත්, සිතේ ඇති වන සියලු හැඟීම් ආදරය කිසිදු සැඟ වීමකින් තොරව ම පෙන්වන මා දන්නා එකම පිරිමියා ඔහුය. මා හට උරුම වී ඇති ආදරය ප්‍රකාශ කිරීමේ සහ ආදරය බලාපොරොත්තු වීමේ ගතිගුණය සීයට සීයක් උරුමවූයේ ඔහුගෙන් බව මම අදහමි .

කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටි ඔහු එක්වරම ලෙඩවීම මමත් නංගිත් ජීවිතයේ බින්දුවටම වැටුණ අවස්ථාවකි. එම රෝග ලක්ෂණ සිහිපත් කිරීමට නො හැකි තරම් දුක්බරය. වේදනාකාරිය. සැබැවින්ම එම ජීවිතයට මම තවමත් බය වෙමි. සතුරෙකුටවත්එතරම් දුකක් ජීවිතයේ අත්විඳින්නට නොලැබේවායි නිරන්තරයෙන්ම මම ප්‍රාර්ථනා කරන්නෙමි.
ඒ අතරතුරදීම අම්මා ද රෝගී වීම ඇදහිය නොහැකි විය. ජීවිතයේ වැටෙන සෑම අවස්ථාවකදී ම අප සැමටම පිළිසරණ හා ශක්තිය වූයේ අම්මාය. අප තිදෙනා පිටුපසම සිටින දැවැන්ත සෙවනැල්ල ඇයය.
ඉතා බොළඳ දුර්වල චරිතයක් ව සිටි මම මා තුළ සැඟවී සිටි ශක්තිමත් ගැහැනිය සොයා ගත්තේ ඇය ද රෝගී වීමෙන් පසුව බව මම අදහමි. 

එසේ ලබාගත් ශක්තිය එක්තරා මොහොතක හැඟීම් දැනීම් නොමැති තත්ත්වයකට මාව පත් කරලීය. අම්මාව හා අප්පච්චිව සුවකරගන්නට හැරෙන්නට සැබැවින්ම කිසිදු හැඟීමක් මා තුල නොවීය.
රැකියාවේ වූ පීඩාකාරී තත්ත්වය ද මේ අතර කෙසේ හෝ ජය ගැනීමට මාහට අවශ්‍ය විය. අම්මාගේ හා අප්පච්චිගේ අසනීපය පිටත මා නිවාඩු ගැනීමට හැකි තරම් වැළකීමට මම තීරණය කළෙමි. මන්දයත් එයින් අන්‍යයන් පත්වන අපහසුව සහ ඔවුන්ගේ සිතෙහි කිනම් හෝ මොහොතක මා පිළිබඳව ඇතිවන නොපහන් හැඟීම් වලට මම බිය වීමි.

අම්මාගේ විශාල ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වී තිබිණි. ඊට ප්‍රථම තවත් කුඩා ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය විය. ඒ වන විට අප්පච්චී දින ගණනක් සිටියේ රෝහල්ගතවය. එදින නංගීගේත් විභාගයක් ද යෙදී තිබිණි. භාතියගේ රාජකාරිය දිනයකි. ඉතින්, ඊට පෙරදින අම්මව කුරුණෑගල රෝහලට හැරලූ මම ඇයව තනිවම එහි තබා නැවත නිවසට පැමිණියෙමි. "මට තනියම ඉන්න පුළුවන්, ඔපරේශන් එකට යන්නත් පුළුවන්. ලොකු දෙයක් නෙමෙයිනේ". අම්මාගේ එම වචන මට අසීමිත ශක්තියක් විය.
ලොකු දෙයක් නෙමේ යනුවෙන් ඇය පැවසුවද එය සිහි නැතිකර සිදුකළ යුතු ක්‍රියාවලියකි.
එහෙත්, රෝහල්ගතව සිටි අප්පච්චි බැලිය යුතුය. හැරත් එදින මගේ oncall රාත්‍රිය විය. oncall දිනයක නිවාඩුවක් ගැනීම යනු සැවොම අපහසුවට පත්වන හේතුවකි. එමනිසා එදිනට නිවාඩු ගැනීමට මම උත්සාහ නොකළෙමි. අම්මාගේ ශල්‍යකර්මයෙන් පසුව සවස ඇය සමඟ නැවතීමට යාමට නංගීගේ විභාගයෙන් පසුව සැලසුම් කරගෙන තිබිණි.

අම්මා ශල්‍යකර්මයට යාමට පෙර මා සමග දුරකථනයෙන් කතා කළා ය බියක සේයාවක දු ඇයගේ වචන වල සටහන් නොවීය. එහෙත් ශල්‍යකර්මය අවසානය වන වෙලාව වනවිට ඇගේ දුරකතනය කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්විණ. ඇමතුම් බොහෝ ගණනක් ලබාගතිමි .ඇය පිළිතුරු නුදුන්නාය.
අවසානයේ බොහෝ වේලාවකට පසු ඇය පිළිතුරු දුන්නාය. ඒ මම කිසිදින ඇගේ හඬින් අසා නැති හඬකිනි. ඒ තරම් වේදනාවකින් කිසිදු දිනයක ඒ හඬෙන් මම අසා නැත්තෙමි. "අනේ පුතේ මට අමාරුයි" ඇය පැවසූවා එපමණකි.

අපේ රෝහල් කාමරයේ සිට මම කෑ ගසා හැඩුවෙමි. මට කළ හැකිව තිබුනේ එපමණකි. අසන්නට හෝ කියන්නට කිසිවෙකුත් සිටියේ නැත .

ජීවිතය යනු පලක් නොමැති බව නැවත නැවතත් මා හට හැඟින. රැකියාව යනු එකම හිස් බවක් පමණක් බවත් අනෙකුත් රෝගීන් ගැන සිතීමට පෙර මගේ පවුල ගැන මම ආදරය කරන අය ගැන සිතිය යුතු බව මට වැටහිණි. ඒ මොහොතේ අම්මව ගොස් බලා අම්මා හොඳින් සිටිනවා ලෙස පැවසූ පේෂල සර් සහ ජයමාල් සර් නොවන්නට බියෙන් සහ සොවින් මා මියයන්නට ඉඩ තිබිණි. ඒ පිළිබඳව නිසි ලෙස ස්තූති කළා දැයි හෝ මට මතක නැත. 

ඊට පැය දෙකකට පමණ පසුව නංගි අම්මා අසලට යන විට ඇය තරමක් සුව වී සිටි බව පැවසුවා නම් මතකය.
අම්මාගේ සහ අප්පච්චිගේ රෝගී තත්ත්ව වලට මා මුහුණ දුන් වෙනත් කිසිදු අත්දැකීමක් මතකයක් නැවත නැවතත් මම සිහිපත් නොකරමි. නැවත සටහන් නොතබමි. ඒවා ඒ තරම්ම කටුක ය.

මෙම සටහන හෝ තැබීමට මම පෙළඹුනේ පසුගිය දිනක මගේ මිතුරියක මුහුණදුන් සිදුවීමක් නිසාය.ඇගේ මව හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කළ දිනයේම නිවාඩු අවසානයේ ඇයට රාජකාරි සදහා ඇගේ රෝහල වූ ඉතා දුර පිහිටි රෝහලකට යාමට සිදුවී තිබිණි. අම්මා බලාගැනීමට ඇයව එක් දිනක් නිවසේ නවත්වා ගන්නට බොහෝ කරුණු බොහෝ වේලාවක් පැහැදිලි කිරීමට මට සිදු විය. ඇය අම්මා ගැන නොසිතුවා නොවේ. ඇය සිටියේ මහත් වූ මානසික පීඩනයකිනි. එහෙත් ඇය යා යුතුම විය. එය මෙම රැකියාවේ ස්වභාවය යි.
එහෙත් මම මෙසේ අසමි.
"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"

Friday, March 9, 2018

ගැහැණු සිත හා පිරිමි සිත

කාලෙකට කලින් පිටකොටුව බස් නැවතුමේදි ඇහුණ කතාවක් මතක් වුණා.
බස් පෝලිමේ මට ඉස්සරහින් හිටියා කපල් එකක්. වැඩි වයසක් නෑ. ඒත් පාසල් වයසෙ නෙමේ කියල හිතුණෙ. දෙන්නගෙම අතේ තිබුණ ප්‍රසිද්ධ ඉංග්‍රීසි අධ්‍යාපනායතනයක පොත්.

පිරිමි ළමයා හිටියෙ ගැහැණු ළමයගෙ අතට තරමක් වාරු වෙලා. ඔහුගෙ කකුලෙ වළලුකර ගාව බැන්ඩේජ් එකක් තිබුණා මම දැක්කෙ තරමක් වෙලාවකට පස්සෙ.
බස් එකක් එන්න ටික වෙලාවකට කලින් තවත් පිරිමි ළමයෙක් එතෙන්ට ආවා. ඔහු කලින් කිවුව පිරිමි ළමයගෙ මිතුරෙක්. ඒ තුන්දෙනාගෙ කතා බහෙන් වැටහුනේ ඔහුව ටික දිනකට කලින් අන්තුරකට ලක් වෙලා ඒ වන විට හොඳ වෙමින් තිබෙන බවක්.

මොහොතකින් ඒ ගෑණු ළමයා එතනින් යන්න සූදානම් වුණා. යන්න පළමුව තමන්ගෙ පෙම්වතා ට ඇය උපදෙස් දුන්නෙ අම්ම කෙනෙක් ළමයෙක්ට උපදෙස් දෙනවා වගේ. යන්න පෙර හැමෝටම හොරෙන් වගේ ඔහුගෙ කම්මුල සෙමින් සිප ගත් ඇය ,ඔහුගෙ යාලුවාට ඔහුව පරිස්සමින් එක්කන් යන්න කියලා ඉල්ලුවෙ ඉතාම බැගෑපත් ව.

ඇයට වෙනත් පන්තියක් හවස තිබෙනා බව පැවසූ ඇය එතනින් පිට වෙලා ගියා.

ඇය වැනි පෙම්වතියක් ලද ඔහු ඉතාම වාසනාවන්ත ලෙසයි මට හිතුණෙ. ඉන් පසුව ඔහු සහ ඔහුගේ මිතුරා අතර ඇති වූ දෙබස මේ වගේ.

යාලුවා - හොඳ කෙල්ල නේද?

ඔහු - ඔව්. හරි හොඳයි. ඒත් මම මේක දිගටම කරන්නෙ නෑ

යාලුවා - ඇයි?

ඔහු - එයාලගෙ ගෙදර ඉන්නෙ එයයි අම්මයි නංගියි විතරනෙ. තාත්තා නෑ. ගෙදර සේරම වැඩ කරන්නෙ මෙයා. ඒ පවුලෙම බර මට කරට ගන්න වෙයි කියලා අපේ ගෙදරින් කැමති නෑ. ඒකත් ඇත්තනෙ..

යාලුවා - ඉතින් උඹ මේක නවත්තන්න ඉන්නෙ කියල මේ කෙල්ල දන්නවද?

ඔහු - නෑ. තවම කිව්වෙ නෑ මම. ටික දවසකින් කියනව

යාලුවා නිරුත්තරයි.

(මෙම සිදුවීම වුණේ මීට මාස ගණනකට කලින්. මේ වන විට ඔහු ඒ තීරණය ඇයට පවසා අවසන් ඇති.

කාන්තා දිනයෙදි බොහෝ දෙනෙක් කතා කරන්නෙ තමන්ගෙ පවුල ඇතුලෙ එහෙමත් නැත්නම් සමාජය විසින් කාන්තාවන් ට සිදු වන අසාධාරනකම් ගැන. ඒත් මේ වගේ දිනපතා අසාධාරණයට ලක් වෙන කොයි තරම් නම් ගැහැණු ළමයින් ඉන්නවද?

ගැහැණු ළමයෙක් ගෙ , කාන්තාවක ගෙ හැඟීම් එක්ක මේ විදියට කිසිම වගකීමක් නැතිව ගනුදෙණු කරන පිරිමි කීදෙනෙක් නම් මේ ලෝකෙ ඉන්නව ද?

සේරම අවසානයෙ , "ගෑණුනෙ බන්" කියලා විතරක් කියලා තමන්ගෙ යාලුවො එක්ක කියලා තමන්ගෙ බිරිඳගෙ, පෙම්වතියගෙ මුළු ප්‍රතිරූපයම හෑල්ලුවට ලක් කරන කීදෙනෙක් නම් පිරිමි මේ ලෝකෙ ඉන්නවද... )

Sunday, March 4, 2018

වටහා ගන්න නුඹ

වටහා ගන්න නුඹ
සඳ වතට නෙතු යොමමි
පමා වන ගිම්හාන සමයක
කවුලුවෙන් දිසි
රතු පැහැති පත්
රැගත්
අතු අග දෙනෙත් රඳවමි
ඇඟිලි තුඩගට ගත නොහී
සියුම් අළු ධූවිලි බිඳෙන්
උදුන ලඟඋණුසුමද කැටි වුණ
නේක සුවඳැති සහන් එළියද
යාත්‍රා ය මා රැගත්
වෙතට නුඹ

වටහා ගන්න නුඹ
මියැදෙන්න ඉඩ හලොත්
ආදරය බිඳෙන් බිඳ
ඉදින් මා නොසොයන්න
මන්දයත්
නුඹට පළමුව නුඹේ මතකය
හැර දමා මා යන සෙයින්
නුඹේ වෙරළත මුල් දරා
ලැගුම් ගෙන සිටි මගේ හදවත
වෙරළ මැද මා තනිවු දිනකදි
හදෙහි මුල් සැම මුදා ගන්නෙමි
කොහේ හෝ යළි ලැගුම් ගන්නට

නමුදු,
සිතනවා නම් නුඹ
ගෙවෙන හෝරවක්ම ගානෙම
නුඹ අයිති බැව් මට
සොයයි නම් නුඹ ලවන්පත්
සිඹින මල් වල මගේ රූපය
මගේ ප්‍රේමිය
සදා රැඳෙනෙමි නුඹේ සෙවනෙහි
නුඹේ මුදු අත් අතර
මන්දයත්,
මගේ සෙනෙහස දිවි ලබන්නේ
නුඹේ සෙනෙහස නිසාවෙන්මය

පැබ්ලෝ නෙරුඩා ගේ If you forget me හි අනුවාදයකි.

You know how this is: 
if I look 
at the crystal moon, at the red branch 
of the slow autumn at my window, 
if I touch 
near the fire 
the impalpable ash 
or the wrinkled body of the log, 
everything carries me to you, 
as if everything that exists, 
aromas, light, metals, 
were little boats 
that sail 
toward those isles of yours that wait for me. 

Well, now, 
if little by little you stop loving me 
I shall stop loving you little by little. 

If suddenly 
you forget me 
do not look for me, 
for I shall already have forgotten you. 

If you think it long and mad, 
the wind of banners 
that passes through my life, 
and you decide 
to leave me at the shore 
of the heart where I have roots, 
remember 
that on that day, 
at that hour, 
I shall lift my arms 
and my roots will set off 
to seek another land. 

But 
if each day, 
each hour, 
you feel that you are destined for me 
with implacable sweetness, 
if each day a flower 
climbs up to your lips to seek me, 
ah my love, ah my own, 
in me all that fire is repeated, 
in me nothing is extinguished or forgotten, 
my love feeds on your love, beloved, 
and as long as you live it will be in your arms 
without leaving mine.

by Pablo Neruda

Monday, November 20, 2017

නො මුදමි, නො මිදෙමි

මොහොතකට නුඹ සිනහ අරගෙන
දුරාතීතයෙ දිනක දුටු සඳ
නුඹේ සිතටත් නොම දැනෙන්නට
නැවතිලා මොහොතකට වාගේ
නෙතින් පමණක් නුඹේ අතැඟිලි
සෙමින් අල්වා හොරෙන් පිරිමැද

දැන් නුඹේ මදහසට වසඟව
නුඹේ දෑත් මැද ළයට මැදිවම
සඟව ගත්තෙමි නුඹේ අතැඟිලි
මුදාලන්නට නොහී විඳිනෙමි
ජීවිතය නුඹෙ ළයේ සනහමි
කිසිදෙනක නොමුදා හරින්නට

~සිඳු~

Saturday, November 11, 2017

සමු නොගන්නෙමි මතක දෙවසර 08 - රාත්‍රියේ වන මැදින්


මෝටර් රථවල ටයරය  කොන්ක්‍රීට් පාර සමඟ ගැටී තරමක  රළු හඬක් නංවයි. ඒ හඬ පරයමින් අනූව දශකයේ හින්දි ගීත තනුවක් තැටි වාදකයෙන් ඇසේ. ඒ හඬද යටපත් කරමින් විවිධාකාර වූ කතා බස් මතු වේ.

හොල්මන් කාර් රථයක් මෙන් කොහේදෝ සිට මතුවූ කහ පැහැති පරණ ෆොක්ස්වැගන් රථයක් අප හා එකට ගමන් කිරීමට තැත් දරයි . කිලෝමීටර ගණනකටම හමුවූ එකම වාහනය වූ එයට අප පසුකර යාමට මොහොතකට ඉඩ දුනිමු.
එය අපූරු දසුනකි. දෙපස  ලදු කැලෑවය. කොළ පැහැතිය.කොන්ක්‍රීට් පාරය. දුඹුරු පැහැතිය. අළු පැහැයද මුසුය. මෝටර් රථය කහ පැහැතිය. හිතුවක්කාරය. අපට පෙනෙන නොපෙනෙන දූවිල්ලක් මතුකරමින් තරගයට මෙන් එය ඉදිරියට ඇදේ.
“ඉකමනින් යමුද, රෑ වෙනවා.”   කිසිවකුගේ සුහද  විධානයක් ඇසේ. ඉතින් නැවතත් කහ පැහැති හොල්මන් රථය  පසු වී  නොපෙනී ගියේය.
අධිවේගී මාර්ගයේ ගමනට සමාන ගමනකට අප නැවතත් අවතීර්ණ වෙමු. හදිසියේ තිරිංග පෑගුනේ පාර හරහා දිව යන මොනරෙකුට  පමණකි. පාරක් දැයි  නොදත් ගානකට ඇතැම් තැන්වල පාර මැද පිල් විදහා රඟනා මොනරුන්ය. පාර දෙපස ලඳු කැලෑව තත්පරයෙන් සියයෙන් එකක වේගයෙන් අප පසු කර ඇදේ.  නැත. ඒවා පසුකර අප ඉදිරියට ඇදෙමින් සිටිමු.
දෑසට නොපෙනෙන සිතට පමණක් දැනෙන විහගුන් රාශියක් තුරු පතරය. වාහනය නවත්වන්නට ඔවුන් කිරීමට කිසිවෙකුටත් උවමනාවක් නැති හැඩකි. කිසිවෙකුගේ සිතට ඔවුන් නොදැනෙන සේයාවකි.  යන යන තැන කුරුල්ලන් සෙවීමේ ආශාව මා හට  පමණක්ම ය. එබැවින් මා අදට හෝ  පරාජය භාරගත යුතුය. 
අහස රෝස පැහැයෙන් හැඩ කරන්නට තවත් කල්වේලා වැඩි නිසාදෝ සුදු වළාකුළු අහසේ තැනින් තැන තැන හැලහොල්මනක්  නැතිවම වැඩි ගෙනය. තද නිල් පැහැ අහස තවමත් සැර පරුෂය. ඉදිරියෙන් ගිය වාහනයක හැපී මියගිය හාවෙකු ගේ මළ සිරුරක් එක් මොහොතකට වාහනය නවතීය.  තේරුමක් නැත. ඌ  මියගොස් බොහෝ වේලාවකි. 
නැවතත් අප ගමනේය. හාවා  ගිය පාරෙම යන්න අකමැති තවත් මොනරුන් ඉක්මනින් පාර හරහා දිව යති. 
ගමනාන්තය දාහය නිවන සිසිලකි.ගිනි  ගහන පරිසරයක අතරමැද  මරද මඩු වැව අසල අපූරු පිහිටීමකි. “වැවේ  කිඹුල්ලු ඉන්නවා” කිසිවකු පවසයි. පෙනෙන තෙක් මානයක කිඹුල් සේයාවකුදු නැත.
“ගිය සතියෙත් හරකෙක්  ඇඳගෙන ගියා” තවත් අයකු පවසයි. අපි වැව් කණ්ඩියේන් මෑත් වීමු.  ඈතින් ඇදෙන ඔරුවක මසුන් මරන්නකු  තම ජීවිකාව සොයයි.මෙම පෙදෙස  යුද සමයේ සතුරාගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් විය. සහසක් දමිල ජනයා දුක් කම්කටොලු වලින් පීඩිත වද්දී ඔවුන්  තම ජීවිත  සැපපහසු පරිසරයන් කේන්ද්‍ර කරගෙන සැපවත් කර ගත් බවට පැහැදිලිය. 
මේ භූමිය තුළ තරුණ ජීවිත කීයක් නම් වියැකී විනාශ වී යන්නට  ඇද්ද.  මේ පස් තුලට කොතරම් රුධිරය කා වදින්නට ඇත්ද. සිතදදී  ලොමු දැහැගැන්වේ.  වටහා ගත නොහැකි අන්දමේ හැඟීම් රාශියක් සිත තුළ පිරී ඇත
අදුර වැටීමට ඔන්න මෙන්න තිබෙද්දී අපි වනාන්තරය තුළට යාමට පිටත් වීමු. හමුදා ජීප් රථයේ පසුපස අසුන ඒතරම් සුව පහසු නැත. එහෙත් කැලේ මැද පාරට එය ඉතා සුදුසුය. ඇවිස්සෙන දූවිල්ල මුහුණේ රැඳී නොරැඳී පාට ඉසිනවා දැනේ. එහෙත් කිසිවෙකුට වගක්වත් නැත .
නිදැල්ලේ යන හරකුන් රංචුවක් පසුවිය. ඔවුන්ට ඉඩ දීමට මොහොතක් ගත විය. එතරම් වාහන ගමන් නොකරන මෙම පාර උන්ගේය. 
ගිනි අවියක් අතැති  සෙබලෙකු නිසොල්මනේය. පසුවී යන පාර ද ඊට උඩින් ගිනිගෙන දැවෙනා හිරුද දෙස බලමින් වුවද ඔහු විමසිල්ලෙනි. අඩි ගණනක් දිග පිඹුරකු පාර හරහා මාරු විය. මොහොතකට නැවතී ජීප් රථය නැවතත් ගමනේය.
ජිප් රථයෙන් බැස පයින් ඇවිද යන මොහොත එළඹිණ. කැලයට ඉක්මනින් රාත්‍රිය උදා වේ. පොතක තිබුණා මතකය. එය පැහැදිලිය. හවස හය වන්නටත් පළමුව රාත්‍රී වර්ණ එලබී ඇත.  සහන් එළිය පමණකි. විදුලි පන්දම් කිහිපයක් දැල්වින.
පාර මැද කොටියෙකුගේ මැකී නොගිය අඩි සටහනකි. මොහොතකට දැනුනේ බියකි. එහෙත් එය සුළු මොහොතකට ය. වනයේ  ඇවිදීමට ගොස් කොටි  ප්‍රහාරයට ලක්වූවන් විරලය. හැරත්, ඉදිරියෙන් හා පිටුපසින් අවි ගත් දෙදෙනෙකි.  කැලයේඇවිදීමට නුසුදුසු සපත්තුවේ තැන් තැන්වලින් ඇතුලට පැමිණි  ජලය  කකුලට ගෙන දුන්නේ ප්‍රසන්න හැඟීමක් නම් නොවේ. මියගිය මොනරකුගේ පිල් තැනින් තැන තවමත් ඉතිරි වී ඇත. ඌ වනයේ  ප්‍රබලයකුගේ ගොදුරක් වන්නට ඇත.
 අහස දෙස බලමින් ඇවිදීමට උත්සාහ කළෙමි. එය  අභ්‍යාවකාශයේ ඇති ග්‍රහලෝක සොයා තරු අතර ඇවිදින්නාබඳුය. ක්ෂීර පථයේ ඉතිහාසයේ  නැති වී ගිය තරුවක් සුපර්නෝවාවක් සොයන්නට උත්සාහ කරමි.  තරු යාය මත ඇතැම් තන්හි හිඩැස් ය. ඒ අතර මනසට දිස් වන තවත් මන්දාකිණිය. මේ නම් සුර පුරයක්මය. 
බොහෝ තෘණ පඳුරු මට වඩා උසය, ඒවාගේ බූව මුහුණෙහි වැදී යම්තම් දැවිල්ලක් මතුවේ. නොනවතින රැහැයි නාදයද මැඩියන්ගේ නාදයද මට සමච්චල් කරනවා බඳුය.
කාලය මැද පුරාවස්තු වල නටබුන්ය. නිසි අධ්‍යනයක් නොකෙරී ඇති සේය. යුධ සමයේ හමුදා සෙබළුන් විසින් දක්නා ලද ස්ථානයක් බව කිසිවෙකුත් කියයි . එය මේ වන විටත් තවමත් ඝන වනාන්තරයෙන් සැඟවී ඇති. 

එහි ඉසව්ව මගෙන් නාසන්න. මම එය ඔබට නොකියමි. 
වැහි බිඳු එක දෙක පතිත වේ. ගෙල රැඳී කැමරාව මම දැතින් සඟවා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදෙමි. ඉක්මනින් වාහනය ඇති තැනට යා යුතුය. කුසගින්නක් දැනේ. රසමසවුළු රාත්‍රී ආහාරයක් සූදානම් බව දනිමු. ඉතින් අපි ආපසු යාමට හැරුනෙමු.
කොටියාගේ ආදී සලකුණු වලට නුදුරෙන් පෙරනොතිබුන අලි වසුරු ගොඩකි. තවත් දෙපා ඉක්මන් කළෙමු.

Sunday, September 3, 2017

ගබ්සාව ගැන(ම) නොවේ

ගබ්සාව ගැන මේ දවස්වල ඕනාවටත් වඩා කතා වෙනවා. ඒ නිසා ඒ ගැන කතා  නොකර වෙනත් දෙයක් ගැන කතා කරන්නට හිතුවා . හැමදාම වගේ රෝහලේ විත්ති තුළින් රෝහලේදී  අත්දැකීමට ලැබූ එක් සිදුවීමක් කියන්නම් .
"home delivery එකක් "
ළදරුවෙක් නොමේරූ ළදරු ඒකකයට ඇතුලු කළා.
ඔහු හොඳින් වැස ඔහු හොඳින් වැඩුණු නිරෝගී දරුවෙක්.  හිමොග්ලොබින් මට්ටම යම් තරමකට අඩු වීම හැරෙන්නට වෙනත් විශාල හානියක් ඔහුට සිදු වී තිබුනේ නැහැ. දරුවාගේ මව අවුරුදු 15 ක දැරියක්. දරුවකු කුස දැරීම නිසා ඇගේ වූයේ වයසට වඩා මේරූ පෙනුමක්.
"බබා හම්බ වෙනකම් දන්නේ නෑ" ඇගේ මවගේ එනම් දරුවාගේ ආච්චිගේ පිළිතුර වුණා.
එය විශ්වාස කළ හැකි පිළිතුරක් වුණේ නැහැ.
"Toilet එකේ බබෙක් අඬනව ඇහිලා මම ගිහින් බැලුව ,එතකොට දැක්කේ බබා වැටිලා ඉන්නවා "ඇය තවදුරටත් පවසා සිටිය.
මෙවැනි කතා කොතෙකුත් අසා ඇත්තෙමු එහෙත් ඒ ඒවාගේ සත්‍යය සහ මුසාව අතර ඇත්තේ කෙස් ගහක වෙනසකි .කෙසේ හෝ දරුවා හොඳින් වැඩුණා ‍ප්‍රතිජීවක ඖෂධ ලබාදීම හැරෙන්නට වෙනත් කිසිවක් ඔහු වෙනුවෙන් සිදු කළ යුතුව තිබුණේ නැහැ. ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතු කාලය අවසන් වූ පසුව දරුවා ගෙදර යැවීමට සුදුසු මට්ටමකට පත් වුණා.
එහෙත් දරුවාගේ පියා කවුරුන්ද යන්න පිළිබඳව විශාල අවබෝධයක් අප හට තිබුණේ නැහැ දරුවාගේ ආච්චි අම්මා ඒ පිළිබඳව නොදන්නා බව දිගින් දිගටම පවසා සිටියා.
දරුවාගේ මව එනම් 15 වියැති දැරිය පවා දරුවාගේ පියා පිළිබඳව පවසා සිටීමට මැලිකමක් දැක්වූවා. එහෙත් අවසානයේ හෙළි වූයේ විශ්වාස කළ නොහැකි තරමේ කතාවක් .
ඇය ඇය කුඩා කාලයේම ඇගේ පියා ඔවුන් දමාගොස් තිබුණා. ඒ් ඇයට අවුරුදු 3 ක් තරම් වූ වයසකදී. එදා සිට මේ වනතුරුම වසර 12 ක් තිස්සේ ඇයව රැකබලාගත්තේ සුළු රැකියාවක් සිදුකළ ඇගේ මව විසින්.
ඔවුන්ට යම් තරමක හෝ උපකාරයක් සිදුකර තිබුණේ පියාගේ සහෝදරයා එනම් දැරියගේ බාප්පා පමණයි. මව සවස දක්වා රැකියාවට යන නිසා පාසල් හැර පැමිණි පසුව නිවසේ තනිවම සිටියේ මෙම දැරිය පමණයි.
එනම් සවස වැඩ ඇරී මව නිවෙසට පැමිණෙන තුරුම ඇය නිවසේ සිට ඇත්තේ තනිවමය.
බොහෝ අවස්ථාවලදී ඇගේ බාප්පා විවිධ කටයුතු සඳහා සහ ඇයගේ සැප දුක් බැලීමට ගිය නිවසට පැමිණීමට පුරුදු වී සිටියා. තම සැමියාගේ සහෝදරයා වූ ඔහු පිළිබඳව කිසිදු සැකයක් මව තුළ ද හටගෙන තිබුණේ නැහැ .
එහෙත් අවසානයේ හෙළි වූ කරුණ වූයේ අලුත උපන් දරුවාගේ පියා එම පුද්ගලයා බවයි. දිගින් දිගට ම ඔහු විසින් ඇය අපයෝජනයට ලක් වී තිබුණා .
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට ඔන්න මෙන්න සිටි එම දැරියගේ ජීවිතය එතනින් අඳුරු වූයේ ඒ ලෙසින්. ඔවුන්ගේ ආර්ථික මට්ටම සමාජ පසුබිම පිළිබඳව සලකා බැලීමේදී ඇයට මින් මත්තට හිමිවන අනාගතය එතරම් සුබදායී බවක් දිස් වූයේ නැහැ.
ඇයව අපයෝජනයට ලක් කළ පුද්ගලයා හට නීතියෙන් දඬුවම් ලැබෙන්නට ඇති. ඇයට ආර්ථික වශයෙන් සාධාරණත්වයක් ඉෂ්ඨ වූවත් ඇගේ අනාගතය පිළිබඳව ඇත්තේ මා හට නම් අවිනිශ්චිත හැඟීමක් .
මේ එවන් වූ එක් අවාසනාවන්ත සිදුවීමක් පමණයි .
වැඩිමහල් පුද්ගලයින්ගේ වැරදි නිසා නොමනා කම් නිසා මෙසේ අඳුරු වී යන අනාගත හිමි දැරියන් පිළිබඳව කතා අප නොයෙක් වර අසා ඇත්තෙමු .
උවමනාව සහ ආදරය රැකවරණය සියල්ල පෙරදැරිකොට කුස පිළිසිඳ ගන්නා දරුවෙක් සහ මෙවැනි සිදුවීම් නිසා කුස පිළිසිඳ ගන්නා දරුවන් අතර වෙනසක් නොමැති වුවත් ,එමගින් මවට සහ ඇය වටා සිටින අනිකුත් අයට උද්ගතවන මානසික මට්ටම අහස පොළව හා සමාන වූ වෙනස්කම් වලින් යුක්ත වෙනවා. මුලින් කී ලෙස ආදරය කරුණාව පෙරදැරි කරගෙන කුස පිළිසිඳ ගන්නා දරුවනුත් ඔවුන්ගේ යම් යම් විකෘතිතා සහ අසාමාන්‍යතා නිසා පසුව ඔවුන්ගේ දෙමාපියන් සහ අනෙකුත් ඔවුනට සම්බන්ධ පුද්ගලයන් හට මුහුණ දෙන්නට වන්නේ ඉතාම අවාසනාවන්ත දුක්ඛදායි තත්ත්ව වලට. ඒ වගේම ඒ නිසා එම දරුවනුත් අනන්ත දුක් වද වේදනා විඳිනවා. අලුතින් අනුමත කරන්නට යෙදුනු ගබ්සාව පිළිබඳ නව නීතිය පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ ආකාර වූ මත ඉදිරිපත් කරනවා. උපදින ඕනෑම දරුවෙක් ජීවිතයක් !
එය සත්‍යයක් !
උපන් කිසිදු දරුවකුගේ ජීවිතය විනාශ කරන්නට අප කිසිවෙකුටත් අයිතියක් නැහැ.
එහෙත් මෙලොව උපත නොලැබූ උපත ලැබූ පසුව,  තමන්ගේ දෛවය, තම දෙමව්පියන්ගේ දෛවය, ඉරණම, මානසික තත්ත්වය, ජීවිතය ආදී සියල්ලම වෙනස් කරන්නට හැකි විකෘතිතා සහිත දරුවෙක් නම් උපදින්නේ...
එසේත් නොමැති නම් තමන්ගේ අනුදැනුමකින් තොරව පාපතර මිනිසකු ගේ අතින් විනාශයට අපයෝජනයට පත් වූ දැරියකගේ කුස තුල සිටින්නේ නුවුවමනා දරුවෙකු නම් තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් වනවා නොවේද.....
විවිධ කරුණු පිළිබඳව අප විවිධ පුද්ගලයන් තුළ පවතින්නේ විවිධාකාර වූ මතයන් .තමන් එල්බ සිටින මතය ම නිවැරදි මතය බවට තහවුරු කළ නොහැකි වනවා සේ ම තම මතය ම නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ දැරීමේදී ඇති වන්නේ මත ගැටුමක් පමණයි. මන්ද යත්, අප බොහෝ දෙනා අපගේ මතයයන් වෙනස් කිරීමට අකමැති නිසාවෙනි.
ගබ්සාව පිළිබඳව අපගේ අදහසුත් එබඳුයි.
මම මෙහිදී පැවසුවේ මගේ අදහස පමණයි..
එය නිවැරදි බව තහවුරු කරන්නට උත්සහ නොකරමි

Sunday, August 20, 2017

අංජනම් එලි

ශල්‍ය වාට්ටුවේ වසර දෙකකට පසුව නැවතත් නොමේරූ ළදරු ඒකකය සේවය කිරීමට එතරම් කැමැත්තක් නොවීය. හැරත් ශල්‍ය වාට්ටුවකට වඩා මෙවැනි ස්ථානයක් ඒකාකාරීය. නමුත් විවිධාකාර හේතු නිසා අවසානයේ නැවතීමට සිදුවූයේ නොමේරූ ළදරු ඒකකයේ ය.
එහෙත් කාලය ගතවත්ම මෙහි වන ඒකාකාරී බව තුළින් ම යම් යම් දේ ඉගෙනීමට හුරු වෙමින් සිටිමි.
මෙලොව පවතින කිසිදු දෙයකින් මනස දූෂණය නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවිහිංසක බිළිඳුන් සුව කිරීම එක අතකට සතුටකි .
තමන්ට සිදුවන්නේ කුමක්දැයි නොදැන වීදුරු පෙට්ටි තුළට වී  සිටින ඔවුන් දෙස බලා සිටීම ඇතැම් විටෙක මනස සුවපත් කරවන සුළුය. එහෙත් එය සුවපත් මනස චංචල වන්නේ අසාධ්‍ය රෝගී වන බිළිඳුන් සිටින අවස්ථාවන්දීය.
එහෙත් ඒ සියල්ල අවසානයේ ඔවුන් සුවය ලබා පිටව යනවිට දැනෙන සතුට අපමණය. මාස ගණනක් යනතුරුම ඔවුන්ව නැවත නැවත ගෙන්වාගෙන පරීක්ෂාකර බලන නිසා එම දරුවන්ගේ වර්ධනය අපි පැහැදිලිවම දකින නිසාවෙනි.
නිරෝගී දරුවන් ලෙස ඔවුන් වැඩෙද්දී ඔවුන්ගේ මවුවරුන් පියවරුන් හා සමානම සතුටක් අප ද ලබන්නෙමු.
**********************
සමන්ති වයස තිස් ගණන්වල මැද භාගයේ පසු වෙමින් සිටියාය ය. ප්‍රසව වාට්ටුවට ඇතුළත් වූයේ නූපන් දරුවා ද කුසෙහි දරා ගෙනය. ඇය පසු වූයේ ප්‍රසව වේදනාවෙන්.
නියමිත කාලයට කලින් සති 32 කදී ඇය නොමේරූ දරුවෙකු බිහි කළාය.සති 32 ක් වු දරුවා හට සාමාන්‍ය තත්ත්ව යටතේ ශ්වසනය අපහසු විය. එම නිසා නොමේරූ ළදරු ඒකකයට දරුවා ඇතුළත් කරන ලදී.
පෙනහලු වර්ධනය උදෙසා වූ අවශ්‍ය surfactant ඖෂධය ඔහුට ලබා දීමට සිදුවූ අතර කෘතිම ශ්වසනය යන්ත්‍රයක ආධාරයෙන් ඔහුට ලබාදෙන ලදි.
දිනෙන් දිනම දරුවාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතින. මවට දරුවා බැලීමට අවසර දෙන ලදී. පියාට දරුවා බැලීමට ඉඩ ලබා දුන්නේ එක් වතාවක් පමණි. ඊට හේතුව නොමේරූ ළදරු ඒකකය තුළ විෂබීජ රහිත බව නිරන්තරයෙන් ම පවත්වා ගත යුතු නිසාය. දින දෙකක් වැනි කාලයකදී මෙම යන්ත්‍රයෙන් ඔහු ගැලවීමට හැකියාවක් ලැබිණ.
එහෙත් දිගින් දිගටම ඔහුට ඔක්සිජන් අවශ්‍ය වූ අතර ගෙදර යැවීමට තරම් සුදුසු තත්ත්වයකට දරුවා ළඟා වී නොසිටියේය.
දිනකට කිහිප වරක්ම ළදරු ඒකකයට පැමිණෙන අනෙකුත් මව්වරුන්ට වඩා තරමක් වෙනස් විය. ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ දරුවා නිවස කරා රැගෙන යාමටයි. "බබාට දැන් කොහොමද ඩොක්ටර්" ලෙසින් අන් මව්වරුන් අසන පැනය වෙනුවට බොහෝ විට ඇගෙන් ඇසුණේ "හෙටවත් ගෙදර යන්න පුළුවන් වෙයිද" යන ප්‍රශ්නයයි.
"තවම ගෙදර යවන්න බෑ අම්මා" දරුවාගේ තත්ත්වය පිළිබඳව දිනකට දෙතුන් වතාවක් ඇය හට පැහැදිලි කිරීමට අපට සිදු වූ අතර දිනෙන් දිනම දරුවා නිවසට රැගෙන යාමේ ඇගේ තිබූ උනන්දුව ඉක්මණ් විය.
"ළමයට සෙම නේද?"  ඇය අප හෙදියක ගෙන් විමසා සිටියාය.
"ඒක තමයි ඔයාට තේරෙනවනෙ බබා හුස්ම ගන්න විදිහ" ඇය පිළිතුරු දුන්නාය.
IRDS,  increased secretion යනාදී ලෙස සමන්ති හට පැහැදිලි කිරීමට වඩා ඇගේ දැණුමේ මට්ටමින් සෙම ලෙසටම සිතා ගැනීමට ඉඩ හැරීම සුදුසු බව ඇය සිතන්නට ඇති.
"නෑ ඒක හින්ද  නෙමේ, මහත්තයා කිව්වා" එතරම් දැනුමකින් හෙබි ඇගේ ස්වාමි පුරුෂයා කවරකුද යන්න අප හට ගැටළුවක් මතුවිය.
එම නිසා ඒ පිළිබඳව විමසීමට අප හට සිදු විය.
අපේ ප්‍රශ්නය සඳහා සමන්ති ගෙන් ලැබුණු පිළිතුර වූයේ "මහත්තයාට අංජනම් බලන්න පුළුවන් එකෙන් බලලා මහත්තයා කිව්වේ" ඇගේ පිළිතුර අප පුදුමයට පත් කරන්නක් විය.
"මහත්තයාට පරම්පරාවෙන් ආපු බලයක් තියෙනවා. එයාට ලෙඩ හොඳ කරන්න පුළුවන්"
සමන්ති තවදුරටත් අපට පවසා සිටියාය. ඒක නිසයි බබාව මම ගෙදර අරන් යන්න හදන්නේ ඇගේ පිළිතුරෙන් අප පත් වූයේ තව තවත් පුදුමයට ය. ප්‍රශ්නය එතැනින් නැවතුනේ නැත.
එදින සවස සමන්තිගේ ස්වාමි පුරුෂයා නොමේරූ ළදරු ඒකකයට නැවතත් පැමිණියේය.
පැමිණීමෙන් පසුව ඔහු දිගින් දිගටම දරුවා නිවසට රැගෙන යාමට අවශ්‍ය බවට අප සමඟ තර්ක සිදු කළේය.
එහෙත් දරුවා සිටියේ ඔක්සිජන් සමග ය. කිසිදු ලෙසකින් නිවසට යැවීමට හැකි තරම් මට්ටමක ඔහු සිටියේ නැත. එම නිසා අපි දරුවාගේ තත්ත්වය පිළිබඳව සමන්තිට ත් ඔහුගේ ස්වාමි පුරුෂයාටත් පැහැදිලි කිරීමට උත්සාහ කළෙමු. ඔහු පසුවූයේ ඉතාම හිතුවක්කාර ස්වභාවයකිනි.
එම නිසා ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂක වරයා සහ රෝහල් පොලිසිය වෙත දැනුම් දෙන බවට අප ඔහුට සඳහන් කර සිටියෙමු.
රෝහල් අධ්‍යක්ෂක වරයා වෙත දැනුම් දීම සිදුකරනවා යයි පැවසුවත් ඒ පිළිබඳව ඔහුට වගක් වත් තිබුනේ නැත. නමුත් රෝහල් පොලිසිය වෙත දැනුම් දිය යුතු බව සඳහන් කළ පසුව ඔහු තරමක් මෙල්ල වූ ස්වභාවයකට පත් වූයේය. ඉන් අනතුරුව ඔහු ළදරු එ්කකයෙන් පිට වී ගියේ ය. එහෙත් ඔහු එසේ ගියේ අප හට දෙස් දෙවොල් තබමින්.
එතරම් කාලයක් මරණාසන්නව සිටි දරුවෙක් එසේ බේරා ගැනීම සම්බන්ධව ඔහුගෙන්  කිසිම  සුභවාදී වදනක් හෝ අපට ලැබුනේ නැත.
ඒ වෙනුවට ඔහුගෙන් ලැබුනේ දෝෂාරෝපණ පමණි. කෙසේ හෝ රෝහල් පොලිසිය පිහිටෙන් දරුවා සුව වන තුරුම ළදරු ඒකකයේ තබා ගැනීමට අපට හැකියාව ලැබිණි.
නිවසට ගිය පසු ව ඔහුව දකින්නට අපට ඉඩ ලැබුණේ එක් වරක් හෝ දෙවරක් පමණකි.
ඉන් අනතුරුව සායනය සඳහා දරුවා රැගෙන එනු මම නොදුටුවෙමි. බොහෝ විට ඔහු ගමේ ළදරු සායනයේ මාස් පතා පරීක්ෂා වනවා වන්නට ඇත.
එහෙත් ඔහුගේ පියා තවමත් දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අංජනම් එළි බලමින් පසුවන්නේ නම් එය ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.