මිනී මැරුමක් වැළැක්වීමි


ඇගේ තුරුණු විය ගෙවී යමින් තිබිණි.විඩාවට දෝ නිදි කිරා වැටෙන කුඩා දරුවා ද කරපින්නාගත් ඇය මා වෙත පැමිණ අසුන් ගත්තේ නළලින් රූරා වැටෙන ඩා බිඳු අත ‍රැඳි ලේන්සුවෙන් පිස දමමිනි.

"මොකද බබාට?" අසනීප වී ඇත්තේ කුඩා දරුවාට බවට වැරදි වැටහීමක් මා සිතේ ඇති වී තිබුණි.

"පුතාට නෙමේ... මට බේත් ගන්න ආවෙ"ඇය සෙමෙන් වදන් ගැලපුවාය.

"මගේ ශුද්ධ වීම පරක්කු වුණා. ඒ නිසා දරුවෙක් ලැබෙන්නද කියන සැකේට මම ගෙදරදි මුත්‍රා පරීක්ෂාව කළා. දෙපාරක්ම බැලුවා.ඒකෙ විදියට මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.

ඇගේ හඬෙහි වූ ව්‍යාකූල බව මගේ සිත ගැටලු ගොන්නකට ඇද දැමීමට සමත් විය. "දරුවෙක් ලැබෙන්න නම් ඇයි මේ දුකෙන්?" මගෙ සිතේ ඇතුලු වූ ප්‍රශ්නය වදන් වලට නොහරවාම මම ඇයට කතා කරන්නට ඉඩ දී බලා සිටියෙමි.

"මට ඒ දරුවා නැති කරගන්න ඕනා ඩොක්ටර්." ඒ ඉහින් කණින් දහඩිය දැමීමට  මගේ අවස්ථාව විය. මෙම වාක්‍යය මම මීට පෙරද අසා ඇත්තෙමි.එහේත් ඒ බොහෝ විට අවිවාක තරුණියකගේ හඬිනි. විවාහක කාන්තාවක් අරබයා මෙවැනි ගැටලුවක් මා හට පැණ නැගුණු ප්‍රථම අවස්ථාව මෙය විය.

"ඔයාගෙ මහත්තයා දන්නවා ද ඔයා අද මෙහෙම ආවා කියලා" ගත් කටටම නෑ බෑ නොකියා මම ඇගෙන් විමසා සිටියෙමි.

"ඔවු,එයාත් කැමතියි දරුවා ව නැති කරන්න."

"මොකද්ද මේ වගේ තීරණයක් ගන්න ඔයාල පෙළඹුණේ?"

"මේ අපේ හතර වෙනි දරුවා. ලොකු පුතාට අවුරුදු 15යි. අපි ඉන්නෙත් කුලී ගේක. ආර්ථික ප්‍රශ්න ගොඩයි. මේ තුන් දෙනා ට උගන්නන්නත් ඕනා. ගෙවල් වල අනිත් කට්ටිය, නෑදෑයො එහෙමත් බනිනවා ලොකු ළමෙකුත් ඉද්දි ඇයි මෙහෙම දෙයක් කර ගත්තෙ කියලා...." ඇය ගැටලු ගොන්නක් මා හමුවේ තැබුවාය.

මේ හා සමාන වෙනත් අවස්ථා වලදී මම බොහෝ විට කරන්නේ, ගබ්සාව පිළිබඳව ලංකාවේ පවතින නීතිය, එයින් ඇගේ ජීවිතයට ඇති විය හැකි අවධානම වැනි කරුණු පිළිබඳව දැනුවත් කිරීමයි. නමුත්, දරුවන් තිදෙනෙක්ම සිටින අම්මා කෙනෙකුට ආමන්ත්‍රනය කිරීමට ඊට වඩා හොඳ ක්‍රම වේදයක් මම සොයා ගතිමි.

"මම මුලින්ම කියන්නම්,එක දෙයක්. මේ වැඩේට මම ඔයාට උදවු කරන්නෙ නැ. හේතු කීපයක් උඩ. මම නීති විරෝධී දෙයක් කොහොමත් කරන්නෙ නෑ. ඊටත් වඩා මගෙ හිතට එකඟ නැති දේවල් මම කොහොමත් කරන්නෙ නෑ. ලංකාවෙ නීතිය අමතක කළත් මේ දරුවා නැති කරන්න ඔයාට මොකක් වත් හේතුවක් තියනවා කියලා මට පේන්නෙ නෑ......."

ඇය නිහඬවම මට සවන් දෙමින් සිටියාය.

"දරුවා ඔයාගෙයි මහත්තයාගෙයි... එයා හැදෙන්නෙ ඔයාගෙ ගර්භාශයෙ... ඉපදෙන්නෙ ඔයාගෙන්, ඉපදුනාම කිරි දෙන්නෙ ඔයා. ඊට පස්සෙ කන්න අඳින්න දෙන්නෙ, උගන්නන්නෙ වටේ පිටේ මිනිස්සුවත්, ගෙදර අනිත් අයවත් නෙමේ. ඉතින් මේ දරුවා කොහොමද ගෙදර ඔයාලගෙ නැදෑයන්ට ප්‍රශ්නයක් වෙන්නෙ? "

ඇය කල්පනාවට එළඹුනාය. "ඇත්ත ඩොක්ට... ඒත් අපිට තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක කොහොමද මේ දරුවාව හදාගන්නෙ? " ඊටත් පිළිතුරක් මා සතුව තිබුණි.

"ආර්ථික ප්‍රශ්න තියනවා අපි කාටත් අඩු වැඩි වශයෙන්. ඔයාලට මේ වෙනකමුත් ආර්ථික ප්‍රශ්න තිබුණානෙ. එහෙම කියලා අනිත් දරුවො තුන් දෙනා එක්ක ලස්සනට ජීවත් වුණෙ නැද්ද?" ඒ වන විට ඇගේ දෙනෙත් වල කඳුලු පිරී තිබිණි. එහෙත් කතාව නවත්ත්වන්නට මා හට සිත් දුන්නේ නැත.
"නිකම් හිතන්න, මේ අතේ ඉන්න පුතා ගැනත් ඒ විදියට ඒ කාලෙ හිතලා එයාව නැති කළා නම්... කොච්චර පවු ද.. එහෙම හිතෙන්නෙ නැද්ද ඔයාට?" ඇගේ දෙනෙතින් කඳුලු කඩා වැටෙන්නට විය. මවගේ දෙනෙතින් වැ‍ටුණ කඳුලු සිඟිත්තාගේ වුවන තෙත් කරමින් ගලා ගියේය. දෙනෙත් යම්තම් විවර කළ පොඩිත්තා නැවතත් දෙනෙත් පියා ගත්තේ , මවට තවත් තුරුළුවෙමිනි.

ඇගේ කඳුලු වලට මද වේලාවක් නිදහසේ ගලා යාමට මම ඉඩ දුනිමි.

"මොකද හිතන්නෙ ඔයා? අපි මේ දරුවාව ආරක්ෂා කර ගමු නේද? කවදා හරි දවසක ඔයාලාට ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වෙයි එයා. මුළුරටම ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ. ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වෙන්න පුළුවන් මේ. එහෙම නැත්නම් දක්ෂ ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක්... ළමයි දාස් ගාණකගෙ ගෞරවයට පත් වෙන ගුරුවරයෙක් වෙන්න පුළුවන් මේ.එයා කවදා හරි මේ ලෝකෙ එයාට ඕනා තැන හොයා ගන්නකම් එයාට ටිකක් උදවු කරන්න. එයාව නැති කරන්න කියලා අද කියන අයත් එදාට සද්ද නැතුව ඉඳියි."

"ඔවු ඩොක්ට, මම මේ දරුවා හදා ගන්නවා මොන ප්‍රශ්න ආවත්"

ඉනික්බිතිව මට තවත් සිතන්නට යමක් නොවීය. ඉතිරිව තිබුණේ ෆොලික් අම්ලය පිළිබඳව, සායන පිළිබඳව, ඉක්මනින් ප්‍රසව හා නාරි වෛද්‍ය වරයකු හමුවීමේ වැදගත් කම පිළිබඳව දැනුවත් කිරීම පමණක් සහ මට ලබා දුන් හදවතට හා "කටට" අම්මාට හා අප්පච්චි ට පින් දීමත් පමණි.


(මාස කීපයකට ඉහතදී වූ මේ සිදු වීම අකුරු කරන්නට උත් ප්‍රේරනයක් ලැබුනේ මකුලු පැංචීගේ බ්ලොග් සටහන දැකීමෙනි
http://makulupanchi.blogspot.com/2012/04/blog-post.html)

Comments

  1. අක්කා කරපු මේ දේ නම් මහා පිනක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි. ඇත්තටම මටත් ගොඩාක් සතු‍ටුයි.

      Delete
  2. Replies
    1. ස්තූතියි රනා. ඒ දරුවා ව දකින්න මම ආසාවෙන් ඉන්නෙ

      Delete
  3. මට අක්කා ගැන ආඩම්බරයි.....
    හොද උපදේශයක් සහ හොද ආකල්පයක්.....
    මම කැමතිම ඡේදය,

    "මොකද හිතන්නෙ ඔයා? අපි මේ දරුවාව ආරක්ෂා කර ගමු නේද? කවදා හරි දවසක ඔයාලාට ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වෙයි එයා. මුළුරටම ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ. ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වෙන්න පුළුවන් මේ. එහෙම නැත්නම් දක්ෂ ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක්... ළමයි දාස් ගාණකගෙ ගෞරවයට පත් වෙන ගුරුවරයෙක් වෙන්න පුළුවන් මේ.එයා කවදා හරි මේ ලෝකෙ එයාට ඕනා තැන හොයා ගන්නකම් එයාට ටිකක් උදවු කරන්න. එයාව නැති කරන්න කියලා අද කියන අයත් එදාට සද්ද නැතුව ඉඳියි."

    විශිෂ්ටයි.....

    ඒ වගේම ඒ අම්මා ගැනත් සතුටුයි. ඇත්ත තේරුම් ගත්ත ධෛර්යවන්ත ගෑණුකෙනෙක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි,සමහර අයට කොච්චර තේරුම් කළත් තේරුම් ගන්න කැමති නෑ. ඒ අතරින් මේ අම්මා නම් ඇත්තටම උතුම්

      Delete
  4. ජය වේවා..... ඔයා ලොකුම ලොකු පුන්‍ය කර්මයක් කරගෙන තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු. මේ පැත්තෙ ආවාටත් ස්තූතියි.

      Delete
  5. ඇත්තටම මේ කරපු දේ අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් මල්ලි. හැමදාමත් මොකක් හරි කියලා යන ඔයා මට ලොකු ධෛර්යයක්

      Delete
  6. ලංකාව අද දවසකට ගබ්සා කිරීම් විශාල ප්‍රමානයක් වෙන රටක්..ඒ අස්සෙන් ගබ්සාව නීති ගත කරන්න හදනවා,මේ වෙද්දී කතෝලික සභාවෙන් ලොකු විරෝධයක් දක්වනවා ඔයා දකින්න ඇති පත්තර වල,මට මේ වෙලේ මතක් උනේ මම දන්න කියන දරුවෙක් හිටිය නැති පවුලක හැදෙන මීගමුවේ ස්පිරිතාලේ කාණුවක ඉදලා හම්බුනු අද එයාලගෙම දරුවෙක් වගේ හැදෙන පුංචි දුවෙක්ව.. නීතිගතව මරලා දානවට වඩා එහෙම දරුවෝ නැතුව දුක්විදින ලෝකේ කොහෙ හරි රටක පවුලකට ඒ ළමයි දෙන එක හොදයි මම හිතන විදිහට...
    සිංදූ කරපු දේ මම හදවතින්ම අගය කරනවා..තව පුංචි දෙයක් කියන්නම්,,අපේ පලාතේ හිටියා ගොඩක් ප්‍රසිද්ධ උනු දොස්තර කෙනෙක්,,පුද්ගලික බෙහෙත් ශාලාවක් දාගෙන,හරි ඉක්මනින් දියුණු උනා සල්ලි කාරයෙක් උනා,හැබැයි එයාගෙම බෙහෙත් සාප්පුවේ වෙච්ච ගබ්සා ප්‍රමානය ගනන් කරන්නත් බෑලු,ඒ වගේම එයා ගබ්සාවටත් හරි ප්‍රසිද්ධ වෙලා හිටියේ,,,ඒත් එයාගේ ප්‍රසිද්ධිය සල්ලි වැඩි කාලයක් තිබුනේ නෑ ඒවත් එක්කම ලොකු රිය අනතුරකින් පාරෙම මියගියා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔයා කියන්නෙ කවුද කියලා මම දන්නවා. එයා විතරක් නෙමේ,සල්ලි වලට හරි මොන යම් දේකට හරි ඒ වගේ දේවල් තවමත් රට පුරාම සිද්ධ වෙනවා. වඩාත්ම භයානකම දේ තමයි සුදුසු කමක් නැති, වෛද්‍ය වරුන් නොවෙන අයත් මෙවැනි දේ කිරීම. ඒකෙන් වෙන්නෙ අම්මගෙ ජීවිතේටත් හානියක්. ඒ නිසාම මාතෘ මරණ විශාල සංඛ්‍යාවක් තවමත් වෙනවා.

      Delete
  7. ඔබ වැදු හා හැදු ඒ අම්මට හා අප්පච්චීට මගෙත් උපහාරය.. මනුස්ස ජීවිතයක් ලැබීම කොයිතරම් දුෂ්කර දෙයක්ද කියල බුදුපියාණන් පෙන්වල තියෙනවා. හැම ආගමක්ම මේ මිනීමැරුමට විරුද්දයි එත් මුදලට වහල් වී ඕනෑම දෙයක් කරන මිනිස්සු අතරේ ඔබ වැන්නන් සිටීම වාසනාවක්..

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ යහපත ගැන හිතලා තවත් ප්‍රාණියෙක් ට මේ ලෝකෙ එළිය දකින් එක නැති කරනවා ට වඩා, සාර්ථක උපත් පාලනයකට යොමු වීමේ වැදගත් කම පිළිබඳව දැනුවත් කිරීම හරි ආකාරව කෙරෙනවා නම් මේ වගේ ගොඩක් දේවල් අඩු වෙයි. ස්තූතියි සරත් අයියෙ

      Delete
  8. කියන්නට දෙයක් නැත.ඔබට මගේ උත්තමාචාරය......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිසූ. මේ පැත්තෙ ආව පළවෙනි දවස නේ?

      Delete
  9. May be we can help them to raise the child, you have done a great job, We are proud of you

    ReplyDelete
    Replies
    1. Thank you very much Kalu Hami (although you have come under a strange name, my instincts say who you are)

      Delete
  10. කියන්න දෙයක් නැත. මේවා පින්ය. නිකං කන්න දෙනවාට වඩා ඉහලම ඝනයේ පින්ය!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි. , ස්තූතියි අලි

      Delete
  11. Replies
    1. වෙල්කම් වෙල්කම් කාව්‍යෝ

      Delete
  12. මම ටිකක් පමා වුණා ..

    ඔයා කරලා තියන වැඩේ නම් ඉහලයි . ඔයා කල මේ වැඩේ ගැන ඔයා සතුටු වෙන එක තවත් හොඳයි . අපිට ඉතින් යන දාකට ගෙනියන්න තියෙන්නේ මෙවුවා විතරයි නේද . ? . ඔයා ගැන මට මාර ආඩම්බරයි ඇයි කියලා දන්නවා නේ ?

    ReplyDelete
    Replies
    1. ඒමොකද සඳරුවෝ උඹට අමුතු ආඩම්බරයක්??

      Delete
    2. මගෙ ළදරු කාලය සහ ළමා කාලෙ මුල් අවධිය ගෙවුනෙ සඳරු මල්ලිගෙ ගමට අල්ලපු ගමේ.... ඒකයි මටත් සඳරු මල්ලි ගැන ආඩම්බර.

      Delete
  13. Dear Sindu.., I appreciate your ability. you are a kind of RARE doctor...

    ReplyDelete
    Replies
    1. Thank you very much Gossip. :-) truly wanna be rare

      Delete
  14. සිදූ ඒ අම්මවත් මරණෙන් ගැලෙවවා වෙන්න ඕනි . මොකද නීත්‍යානුකූල නොවන තැනකට ගිහින් ගබ්සාවක් කලානම් එයාට සෞක්‍යමය පැත්තෙන් නොයෙක් ප්‍රශ්න ගොඩකට සමහර විට මරණයට වුනත් මූන දෙන්න වෙනවා .අනික් අතට මට මෙහෙම හිතුනා .ආර්ථික ප්‍රශ්නත් තියේ නම් , දරුවො ගොඩකුත් ඉන්නවනම් ඇයි මේ මිනිස්සු පවුල් සැලසුම් ක්‍රමයක් ගැනවත් නොහිතන්නේ . අනික් අතට තව ප්‍රශ්නයක් තමයි ගොඩක් පිරිමි කැමති නෑ උපත් පාලන ක්‍රම අනුගමනයට .ඒකත් ගෑනුන්ටම පැටවිලා . ගොඩ දෙනෙක්( ගෑනු පිරිමි දෙපිරිසම) මේ ගැන නොදැනුවත් .අන්තිමට නූපන් දරුවෙකුයි අම්මෙකුයි ජීවිතෙන් වන්දි ගෙවනවා .

    ReplyDelete

Post a Comment