උල්කාපාත.........


"වෙඩින් එකට දවස් දෙකයි මට නිවාඩු ලැබුණෙ, රිලීස් වෙන්නෙ වෙඩින් එක දවසෙ පාන්දර 4ට" 

ආයෙම මතක් වුණ එයාගෙ වචනත් එක්ක ඇස් වලට පිරෙන්න පටන් ගත්තු කඳුලු නවත්ත ගන්න බැරුව මම වාට්‍ටුවෙන් එළියට ආව. 
මොකද්ද මේ ජීවිතේ... මේ දවස් වල හැමදාම වගේ හිතට එන ඒ සිතිවිල්ල ආයෙමත් හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත. 
කොරිඩෝවෙ කෙටි බිත්තියට හේත්තු වෙලා අහස දිහා බලාගෙන මම ජීවිතේ හෙවුව...... ජීවිතේ ප්‍රශ්න පත්තරේ උත්තර නැති ප්‍රශ්න ගණනාවක් මම වටේ කැරකුණා.  කඳුලු වලින් ඒවට උත්තර ලැබෙන්නෙ නෑ කියල දැන දැනම ඒ කඳුලු නිදහසේ ගලාගෙන ගියා. අහසෙ මැද හිටගෙන හිටිය මහ වලසා තරු රාශියත් මා දිහා බලාගෙන හිටිය මමවත් නොදන්න උත්තරයක් කොහෙන් හරි ලැබෙනකම්. 

දිගින් දිගටම පර තෙරක් නොපෙනෙන අහස දිහා බලාගෙන මම හිටිය ගොඩක් වෙලා. හිතේ දුක කියාගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. තරු පිරුණ අහසට විතරක් එදා මගෙ දුක දැනෙන්න ඇති. 

අවුරුදු හයක් පුරාවට පෙරුම් පුරාගෙන හිටිය ඒ දවසට මේ තරම් බාධා එයි කියල හීනෙකින්වත් හිතල තිබුණෙ නෑ......
විවාහය වෙනුවෙන් මට සතියක නිවාඩුවක් ලැබෙද්දි, එයාට දවස් දෙකක් විතරක් ලැබීම එයාටත් ලොකු දුකක් කියල මට හොඳටම දැනුණ. කඳුලු සලලා අඬන්න බැරුව ඒ හිතේ හිරවුණ කඳුලුත් ඇද හැලුනෙ මගෙ ඇස් හරහා.....

ඒත් , මමවත් නොහිතුව මොහොතක, අහසටත් හොරෙන් උල්කාපාත දෙකක් එක පාරටම අහස හරහා ඇදිලා ගියා. හරියට හින්දි චිත්‍රපටයක වගේ ඒ උල්කාපාත දිහා බලාගෙන මම ප්‍රාර්ථනා කළා අපි දෙන්නගෙ හිතේ සතුට..... හාස්කමකින් වගේ ඇද වැ‍ටුන උල්කාපාත දෙක ඒ ප්‍රාර්ථනාව ඉශ්ට කරයි කියලා මම විශ්වාස කළා. 

ඇත්ත.... දහසක් බාධා මැද්දෙ, අම්මගෙයි අප්පච්චිගෙයි නංගිගෙයි නැන්දාගෙයි හිතාගන්න බැරි තරමෙ කැප කිරීම් එක්ක, මගෙ හිතේ ඇඳිලා තිබුණ විවාහ උත්සවය ඒ විදියටම ලස්සනට සිදු වුණා.... 

මම දැකපු උල්කාපාත මතක් වුණා මට ආයෙමත්.

පහුවදාම අපි දෙවෙනි ගමනට පිටත් වුණා. විශ්වාස කරන්න.... එදාත් මගෙ ඇස් අහසට යොමු වුණේ ඉබේම. තවත් උල්කාපාතයක් අහස හරහා ඇදිලා ගියා. ඒ අපි දෙන්නගෙ වාසනාවේ අනිත් උල්කාපාතය වෙන්න ඇති.... 

මම දන්නවා, එයා නිසා මම වාසනාවන්තයි. ඒ වගේ ආදරයක් මේ ලෝකෙ කොහෙවත් තියෙනවා කියල මම දැනගෙන හිටිය නෑ මේ වෙනකම්ම.... 

මම අපේ අලුත් නවාතැනේ හුදෙකලාවම පරිගනකය ඉස්සරහ වාඩි වෙලා ඉද්දි, එයා නිදි නැතුව වාට්‍ටුවේ වැඩ වුණත්, අපි වාසනාවනතයි කියල මම අදහනවා......... 


Comments

  1. හැහ්...
    වෙඩිං ඩ්‍රීම්ස්.... :D

    ReplyDelete
  2. ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කේ ...... අහසේ උල්කාපාතයක් ආයේමත් ගියත් නෑතත් ඔයගේ හෑම බලපොරොත්තුවක්ම ඉටු වෙන්න කියල ආදරෙන් පතමි

    ReplyDelete
  3. අම්මෝ කොහේද සිදූ අක්කා ගිහින් හිටියේ?

    කතාවනම් නියමයි අක්කේ..

    ReplyDelete
  4. ලියලා තියෙන්නේ සිදුවූ ඇත්ත කතාව නම් මගෙ උණුසුම් සුබපැතුම් .. ඒ එක්කම ආපහු ලියන්න පටන් ගත්ත එක ගැන සතු‍ටුයි..

    ReplyDelete
  5. දෙන්නටම මගේ උණුසුම් සුබ පැතුම්!!! :)

    ReplyDelete
  6. දන්නවද සිදූ,
    ලොකු වැස්සක් වහින්න කලින් ලොකු නිහැඬියාවක් එනවැයි කියලා. හික්ස් :)
    එහෙනම් මේකට තමා මෙච්චරකල් සද්දයක් නැතිව උන්නේ.
    දෙන්නටම වාසනාවන්ත යුග දිවියක් පතනවා !!!!!!

    ReplyDelete
  7. සුභ පැතුම් සිඳූ..කෙලින්ම කියලා නැතත් මෙච්චර කල් නිහඬව හිටියේ මේක නිසා කියලා හිතනවා..
    මල් වැහි වැටෙන, සියොතුන් හඬ ඇසෙන සුවබර යුග දිවියක්..

    ReplyDelete
  8. වැඩේ ඇත්ත නම් ඉතින් සිඳූ දන්නවනේ ඉතින් ආයෙ වෙන තැනකින් නෙවෙයි බොක්කෙ ගැඹුරුම තැනින් සුභ පැතුම්. කතාවක් විතරක් නම්... හයියූ සල්ලි.

    ඇයි සිඳුවො ඔය ෆ්‍රෙන්ච් ලීව් නැද්ද? එතකොට වෙඩිං එකට පස්සෙ .... ම්ම්ම් .... කොහොමද ඒක කියන්නෙ? හනිමූන් ඇක්සිඩන්ට් ලීව් නැද්ද?

    Reason for taking leave: Honeymoon accident.

    ReplyDelete
    Replies
    1. හනිමූන් ඇක්සිඩන්ට්
      තමුන්ට උනදේ හැමෝටම වෙන්නෙ නෑ ඩුඩ්... හෆෝයි කොල කුඩු..

      Delete
  9. සුබ අනාගතයක් දෙන්නටම......

    ReplyDelete
  10. කථාව ඇත්ත නම් අපටත් කේක් කෑල්ලක් දීපල්ලා...

    ජීවිතය සුභ වේවා !

    ReplyDelete
  11. විවාහ ජීවිතය පුරාම සතුට සහ සෞභාග්‍යය පිරී ඉතිරී යන වාසනාවන්ත සුභ විවාහ දිවියක් ඔබ දෙපළටම පතනවා....!!!

    සිඳු කිව්වා වගේ "මොකද්ද මේ ජීවිතේ" කියලා එක වරක්ව හෝ නොහිතුණ කෙනෙක් ඔය රස්සාවේ නෑ.ඒ වගේමයි අනිත් අය ජීවත් කරවන්න තමන්ගේ ජීවිතයේ වටිනම දින කීහිපය මේ විදියට කැප කරන අයත් ලෝකෙ වැඩිය නෑ. ඉන් ලැබෙන පින ඔය දෙන්නාගේ ජීවිතයට ආශිර්වාදයක්ම වේවි... කාර්යබහුල සීමාවාසී වසර ඉක්මනටම ගෙවිලා යාවි.. ඊට පස්සේ ජීවිතේ මේ තරම් කටුක වෙන එකක් නෑ....

    ReplyDelete
  12. ඔය ගත කරන අවුරුද්ද අපේ ජීවිතෙන් අපිට අයිති අවුරුද්දක් නෙවෙයිනෙ.
    වැඩිය හිතන්න එපා
    උඩින් තොටියා අය්යා කියල තියනවා වගේ දැනට මාස 2ක් ඉවරයිනෙ. තව 10යි!
    ඊට පස්සෙ දෙන්නට හිතේ හැටියට නිදහසෙ සතුටින් ඉන්න පුලුවන්.

    ඔන්න එහෙනම් සතුටින් ආදරෙන් පිරුණ වාසනාවන්ත යුගදිවියක් ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
  13. නැවුම් ජීවිතයට සුබ පතනවා..

    සමහර වෙලාවට ජිවිතයේ මුහුණ දෙන සිදුවීම්වලට වඩා රාජකාරිය ඉහලින් සිටිනවා. ඒක ස්වභාවයක්.

    ReplyDelete
  14. කාලෙක දිගු නිහැඬියාවකින්..
    ලියූ කතාව ජීවිතයේ පිටුවක්නම්.. හදවතින්ම සුබ පැතුම් වාසනාවන්නත යුගදිවියකට , ජීවිතයේ සියලු බාධක ජය ගන්න ධෛර්යය ශක්තිය ලැබෙන්න ඔයාලා දෙන්නටම..!!! :)

    ReplyDelete
  15. ආ ..... හුඟ කාලෙකින්. මේක හැබෑවක්ද, නිකන් කතාවක්ද කියල මට තෝරගන්න බෑ.

    ඇත්තනම් මගේ උණුසුම් සුබ පැතුම් ! ඔය දෙන්නටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  16. පොටෝ දැක්කා නෙව... බොහෝම සංතෝස හිතුනා..ඒත් එක්කම මට හිනා ගියා අර උල්කාපාත කතාවයි..මං කලින් ලියපු ලෝක විනාස ලිපියට සිදුවා දාපු කොමෙන්ටුයි මතක් වෙලා... :D

    සුභ අනාගතයක් නංගියේ...!

    ReplyDelete
  17. Happy wedded life sindu!!!!! mata oyage a lassama dawasta sahabaagi wenna nolabunath mama mulu hadawathinma pathanawa oyatai bathiyatai suba anaagathayak !!!!

    ReplyDelete
  18. As usual I am late.But am I not lucky to witness that beautiful day in your life? You have turned into a pretty bride, and I was very happy to see you there.Your mother too was beautiful on that day. "Life is full of smiles, sobs and sniffles".(Gift of the Magi)

    ReplyDelete
  19. සුභ අනාගතේකට දෙන්නටම හදවතින්ම සුභ පතනවා සිදූ පොටෝ එකක් දැක්කා ලස්සනයි ගොඩක්

    ReplyDelete
  20. සුභ මංගලම් නංගී.... සුභ අනාගතයක් ! කොතරම් කරදරකාරී කාලයක් ආවත් ඊළඟට සියල්ල හොඳ අතට පෙරළෙයි. ඇත්තටම හරි අසාධාරණයි ජීවිතේ වෙලාවකට. මටත් නිතර හිතෙන දෙයක් , සහ ගෙදර අය අහන දෙයක් තමයි "මොකද්ද ඔය ජීවිතේ" කියලා. අපිට අපේ කියලා ජීවිතයක් නැති කරනවා සීමාවාසික කාලය. ඇත්තටම පුදුමයි දවස් දෙකක් පමණක් නිවාඩු දීම. මොන තරම් අසාධාරණයක්ද ? ඒ කාලයේ හිතෙනවා මානව හිමිකම් කියා දෙයක් ලෝකේ තියෙනවා නේද කියලා. ඉන්ටර්න් කාලේ මෙඩිකල් , මේල් වෝඩ් එකේ එකම HO වෙලා මාස 3 පමණ සෑහෙන කට්ටක් කෑවා. මතක් කරන්නවත් කැමති නැති අප්‍රසන්න කාලයක් ! ජේෂ්ඨයින් මීට වඩා හොඳ වෙනවානම් කොච්චර හොඳද කියා හිතුනා. සීමාවාසික කාලය ඉවර උන විට සහනයක් දැනේවි. එතකොට වරප්‍රසාද මෙන්ම අයිතීන් ලැබෙන නිසා. අනිත්කොණට යද්දී සමහරි අළුත උපන් දරුවන් රැගෙන ඇවිත් බොහෝ දුක් වින්දා. මගුලක් මළ ගෙයක් හෝ ගෙදර ප්‍රශ්ණ යක් උනාම ඒවලදී ඒවාට උදව් කරන්න නිවාඩු ගන්න බැරිව අපි බොහෝ අය ගොඩක් දුක් වින්දා... මට ඔබේ දුක තේරෙනවා. අපිත් ඒ කාලයම පසු කරන් ආපු නිසා. ඔබ දෙදෙනාටම සැපවත් සාර්ථක දිවියක් ප්‍රාර්ථනා කරමි !

    ReplyDelete
  21. සුබම සුබ අනාගතයක් අක්කේ.හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නට!

    ReplyDelete
  22. සුබ පැතුම් අලුත් ජීවිතේට ...හොඳ සිතුවිල්ලක් ..ඔයා වාසනාවන්තයි ..

    ReplyDelete
  23. සුභ පැතුම් සිඳු, පරක්කු වෙලා ආවට සමාවෙන්න ඕනේ.

    ReplyDelete
  24. හැමෝටම ස්තූතියි. මේ කතාවක් නෙමේ........ ඇත්ත ජීවිතේ

    ReplyDelete
  25. ඔය දෙන්නටම සුබ අනාගතයක්!!!!

    ReplyDelete
  26. Happy wedded life.....

    ReplyDelete

Post a Comment