සඳ එළිය

තුන් වරුව නෙතු නිදි වරා
කොඳ මලත් ඇහැරා තියා
සඳ හෙලූ මුතු කඳුලු පිණි බිඳු
මල් පියලි කොපුළත තියා
සඳ එළිය සැඟවී ගියා

සඳ යළිත් ළඟ එයි කියා
ළපටි නෙතු දල්වා තියා
මග බැලූ සුදු කොඳ මලේ පෙති
හිරු කිරණ වැද මැලවුණා
රොන් සුණුද වියලී ගියා

සඳ යළිත් විල් තෙර අරා
කුමුදු පිදු සෙනෙහස සොයා
අහස් ගඟ පියමනින සඳ වත
මුවග කඳුලැලි පිස දමා
පිණි කුසුම් මිහිදන් වුණා

කොඳ මලෙහි රුව මියැදිලා
සුවඳ රොන් සුණු වියැකිලා
ඈ හෙලූ අවසන් සුසුම් පොද
වා ගැබට මුසු වී ගියා
සඳ දෙනෙත් අඳුරේ තියා

~සිඳු~


Comments

  1. ලස්සන කවි පෙලක්. කවිය පුරාවට දුක්බවක් මට දැනෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete

Post a Comment